Sunday, July 14, 2013

ඉමායට ෆේස්බුක් ප්‍රොෆයිල් දෙකක් (3 කොටස)

ඉමායා චමිත්ව බලන්න ආවට මට චමිත්ව බලන්න නුවර යන්න ලැබුනේ නෑ..  චමිත් කෑ ගැහුව එන්න එපා කියල.. ඉමායා ගැන අම්මල දන්න නිසා අවුලක් නෑලු... අනේ ඉතිං ඕනෙම නම් අම්මට කියන්න බැරිද මගේ ගැන..  කවුද දැන් එයාගේ ගර්ල්... ඉමායද....ඕව කතා කරලා වැඩක් නෑ එයත් එක්ක.....

"මොකක්ම හරි වෙලා ඉමායා අයේ ඔයාට කැමති උනොත්...... හ්ම්ම්.... ඔයා මොකද කරන්නේ... කැමති වෙනවද...?"  
දවසක් දා මම ඇහුවේ චමිත් ට තුරුල් වෙලා බස් එකේ එන ගමන්....

"අපෝ නෑ... දැන් ඔයා ඉන්නවා නේ... එයා පරක්කු වැඩි...."  
ඔන්න ඕකයි එයා  හිනා වෙලා මට දුන්න උත්තරේ...

ඒ උනත් චමිත් මට කතා කරන එක ටිකෙන් ටික අඩු උනා.. ඉදලා හිටලා වගේ කතා කරත්  කිව්වෙ ඉමායා ගැන..  ඉමායා එයාට කෝල් කළා / මැසේජ් කළා.. එක කතාවයි... එන පොට නම් හරියන්නේ නෑ කියල තේරුනත් මම කියල මොනවා කරන්නද... කෝල් කලාම ෆෝන් එක ගන්නේ නෑ... මැසේජ් එකක් යැව්වම රිප්ලයි නෑ....  ඉස්සර වගේ නෙවෙයි චමිත් දැන් ගොඩක් වෙනස් වෙලා..එයාට මාව ඕනේ නෑ වගේ...

"ඉමායාව මම ෆොටෝ එකකින් දැකල තියනවා... චමිත් තමයි දවසක් මම ඇහුවම ඒ ෆොටෝ එක එව්වේ... " 

මම මලිති ට ෆොටෝ එක පෙන්නන ගමන් ඇහුවා එයා මම වගේ ද කියල....

"මෙයා මං වගේ පේනවද... "
"පිස්සුද... කවුද කියන්නේ... චමිත් ද...."
"ඔව්.....මම ඉමායා වගේමයි ලු එකම උසලු....ඒක නිසාලු නේ එයා මට කැමති උනෙත්..."
"චමිත් ට ඇත්තටම පිස්සුද... එයාව ඔයාගේ ලගින් වත් තියන්න බෑ.. චමිත් ට ඇස් පෙන්නේ නැද්ද කොහෙද..."

මලිති කියන දේ ඇත්ත... මම පොඩ්ඩක් වත් ඉමායා වගේ නවෙයි....

"මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉන්න බෑ කොහොමත් චමිත් ට... මම නම් කියන්නේ එයාගේ ඔය ලෙඩෙත් බොරු ඉමායා ගෙදර ආව එකත් බොරු..."

අනේ මන්ද මලිති ට චමිත් එක්ක පරණ තරහක් තියනවද කියල...පොඩ්ඩක් වත් විශ්වාස නෑ නේ... 

"ඔයාට මතක නැද්ද ශාක්‍යා ගේ යාලුව කිව්වේ චමිත් එයාලටත් කිව්වා ගමේ ගර්ල් බදින්න යනවා.. අවුරුදු 6ක් යාලුයි කියල... ඕක මුළු ස්ලිට් එකම දන්න කතාවක් නේ අනේ..."
"ඉමායයි එයයි යාලු වෙලා නම් ඉදලා තියනවා... ඉමාය කමෙන්ට් කරලා තියනවා.. චමිත් ගේ ප්‍රොෆයිල් එකේ... මේ බලන්න... "

මම පෙන්නුවා මලිති ට ඉමායගේ කමෙන්ට්.. ඉමායයි චමිතුයි වෙන් උන කාලේ එක එක දුක හිතෙන ඒවා වෝල් එකේ දාල තිබ්බා...හොද බූට් එකක් කාපු සාම්ප්‍රදායික කොල්ලෙක් වගේ... 

"මේ වෙන ප්‍රොෆයිල් එකක් නේ.. එදා ඉමායා කියල ඔයා මට පෙන්නුවේ මේකද... එකේ ප්‍රොෆයිල් පික්චර් එකක් තිබ්බනේ"
"නෑ නෑ මේ වෙන එකක්... එයාට ප්‍රොෆයිල් 2ක් තියනවා ලු..."
"මොකක්... ?? "
"ඔව් දවසක් මම ඇහුවා චමිත්ගෙන් මේ කමෙන්ට් දාන ඉමායගේ ප්‍රොෆයිල් එක ගැන... "
"ඉතිං...?"
"අරක හැදුවේ එයාගේ අයියලු.. ඕක හැදුවේ චමිත්ලු අයියා හදපු එකෙන් චමිත් එක්ක චැට් කරන්න බැරි නිසා... "
"මොකක්... ඒ කියන්නේ අයියා ඒක චෙක් කරනවද.. දැන් එතකොට ඉමායා බබෙක් ද ගෙදරින් එයාගේ ෆේස්බුක් එක බලන්නේ.."
"අනේ මන්ද... මම චමිත් ගෙන් ඕව වැඩිය ඇහුවේ නෑ මට ඕනෙකමක් තිබ්බේ නෑ නේ.."
"කෝ බලන්න අනිත් ප්‍රොෆයිල් එක.."

දැන් කාලේ කවුරු හරි කෙනෙක් ගැන විස්තර හොයන්න ලේසිම ක්‍රමේ ෆේස්බුක් තමයි ඉතින්... මම මලිති ට පෙන්නුවා ප්‍රොෆයිල් දෙකම....

5 comments: