Friday, July 26, 2013

ඉමායද කොල්ලොන්ගෙන් යාලුවෙන්න අහල තිබ්බේ.... (13 කොටස)

"හලෝ කොහොමද....."
"හොදින් ඉන්නවා ඔයාට කොහොමද...."
"හොදයි අනේ... ඉතිං මොනවද අලුත් විස්තර....."
"මේ... ඔගොල්ලොන්ගේ ඉස්කෝලේ ඉමායාව දන්නවද....?"
"අහ්හ් ඔව් ඔව් එයා අපේ එහා පන්තියේ හිටියේ... "
"අහ්හ්.....මට එයා ගැන විස්තර ටිකක් කියන්න..... "
"මට රමිත් කිව්වා.... අමතක උනා නේ ඔයාගේ බෝයි ගැන..."

වෙලාවට රමිත් ට ඉමායගේ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නේ....නැත්නම් නුවර ඉන්න ඉමායෙක් ගැන මම කොහොම හොයන්නද..... මම පුර්ණිමා ගෙන් ඉමායා ගැන විස්තර අහන්න පටන් ගත්තා..

"එයා කොහොම කෙනෙක් ද..."
"ඒ කියන්නේ..."
"එයා බ්‍රයිට් ද.... ඒ ලෙවල් රිසල්ට් එහෙම කොහොමද...."
"අහ්හ්.... රිසල්ට් නම් හරියටම දන්නේ නෑ... එත් එයා ඒ ලෙවල් ෆේල් ද කොහෙද..."

චමිත් මට කියල තිබ්බේ ඉමායා මාර බ්‍රයිට් එයා නිසා තමයි චමිත් ඒ ලෙවල් පාස් උනේ කියලා..  පූර්නිමා ඉමායා කියල හිතාගෙන වෙන කෙනෙක් ගැන කියනවද දන්නේ නෑ....

"ඉමායා maths නේද.....??"
"ඔව් maths.... maths පන්ති 2යි තිබ්බේ...." 
"හ්ම්ම්ම්.... ඉමයාල එක්කෙනයි ද හිටියේ ඉස්කෝලේ....."
"ඔව් අපේ වසරේ එක්කෙනයි තමයි හිටියේ....."

"ම්ම්... ඔයාට ෂුවර් ද.... එයා ඒ ලෙවල් ෆේල් කියලා...."
"ඔව් ඇයි...."
"මට චමිත් කිව්වේ ඉමායට A දෙකයි B එකයි කියල නේ... "
"ඒක නම් කොහොමත්ම වෙන්න බෑ... අපේ ඉස්කෝලෙන් ඒ රිසල්ට් තිබ්බේ එක්කෙනාටයි... එයා මගේ යාලුවෙක්.... එයා ඉමායා නෙමෙයි..... "
"අහ්හ් එහෙමද....."

හ්ම්ම්..... පේන විදියට නම් චමිත් මට ඉමායා ගැන බොරු කියල වගේ...


"ඔව්.... ඉමායා එච්චර හොද කෙනෙක් නෙමෙයි මම අහල තියන විදියට..."
"එහෙමද.... චමිත් එක්ක අවුරුදු 6ක් යාලු වෙලා හිටිය ලු..."
"මොකක්..... එහෙනම් පොඩි කාලේ යාලු වෙන්න එපැයි හලෝ....  "
"ඔව් ඕ ලෙවල් කරද්දීලු යාලු උනේ..."

පුර්ණිමා මට ඉමායා ගැන තව විස්තර කිව්වා....

"හැබැයි මම හොදටම දන්නවා ඉමායා ඒ ලෙවල් කරද්දී මගේ යාලුවෝ දෙන්නෙක්ට කෝල් කරලා යාලු වෙන්න අහල තිබ්බ...."
"ඒ කියන්නේ ඉමායද කොල්ලොන්ගෙන් යාලුවෙන්න අහල තිබ්බේ...."
"ඔව් ඔව්....  ඉමායා යාලු වෙන්න ඇහුවේ සමහරවිට ඔයාගේ බෝයි එක්කත් යාලු වෙලා ඉන්නකොටම වෙන්න ඇති එහෙනම්...."

මළ කෙලියයි....!!! ඉමායා ගොඩක් හොද ගැනු ළමයෙක් වගේ....  !!

"අහ්හ්.... අනේ මන්ද.... චමිත් කිව්වා ඉමායා ජූලි වල බදිනවා ලු....."
"ආපෝ කවුද එයාව බදින්නේ... නුවර එක්කෙනෙක් නම් නෙමෙයි වෙන්න ඇති...."
"අහ්හ් එයා එච්චර චාටර් ද..."
"අහල තියෙන්නේ නම් එහෙම තමයි...."

පුර්ණිමා ගෙන් විස්තර ඇහුව එකෙන් උනේ මගේ ඔලුව තව අවුල් උන එක... මලිති කියනවා වගේ චමිත් ඇත්තටම මට පලවෙනි ආදරේ ගැන බොරු කිව්වද.... එහෙම නැත්නම් ඉමායා චමිත් ට බොරුවක් කලාද දන්නේ නෑ.... කොහොමත් ඉමායානේ affair එක නවත්තලා තියෙන්නේ....

කොහොමත් ඉමායා කෙනෙක් නැති වෙන්න නම් බෑ.. ඉමායා කෙනෙක් නැත්නම් අර කමෙන්ට් දාන්නේ කවුද චමිත්ගේ profile එකේ..... හැබැයි ඉමායා ගෙදර ඇවිත් නැගිට්ටෙව්වා කියන එක නම් ගොඩක් දුරට බොරු තමයි.. 

                                                                      ***

"එකනේ මම ඔයාට කිව්වේ.... ඉමායා කෙනෙක් නෑ... "
"එතකොට මේ කමෙන්ට් දාලා තියෙන්නේ කවුද.... I miss you එහෙම..."
"මේ කමෙන්ට් දාන එක ෆේක් එකක්... ඉමයාගේ ප්‍රොෆයිල් එක මේ අනිත් එක වෙන්න ඇති..."


ඔව් හැබැයි මේක ෆේක් වෙන්න පුළුවන් කියල මටත් හිතුන.... ප්‍රොෆයිල් පික්චර් එකක් වත් නෑ.... එතකොට ඒක චමිත් ගේ ෆේක් එකක් ද.....



"එතකොට ඔයා කියන්නේ චමිත්ම ඉමායා වගේ එයාගේ ඒවාට  කමෙන්ට් දානව කියලද..... "

ඔව් වෙන්න පුළුවන් ලු.... මලිති ට නම් පිස්සුද මන්ද....

"එතකොට ඔයා කියන්නේ මේ මුළු ස්ලිට් එකම දන්න ඉමයාගේ කතාව බොරු....."
"එහෙම තමයි පෙන්නේ.... ඔයාගේ නුවර යාලුවා අනිවාර්යෙන් බොරු නෙමෙයි නේ කියන්නේ...."

ඔව් හැබැයි පූර්ණිමා කියන දේවල් නම් ඇත්ත වෙන්න ඕනේ... ඒ කියන්නේ චමිත් කිව්ව දේවල් බොරු වෙනවා....

"චමිත් මට කිව්වා ඉමායාලු එයාට පාඩම් කියල දෙන්නේ.. කෝල් එකක් අරන් ලු papers කරන්නේ.... ඉතිං චමිත් නිදිමතේ ලියනවා ලු.... එයා නැත්නම් අද චමිත් මෙතන නෑ ලු.... "

"චමිත් ට පිස්සු.... එක වෙන්න බෑ නේ ඉතින්.... ඉතිං ඔයාගේ යාලුවා කිව්වා නේ ඉමායා ඒ ලෙවල් ෆේල් කියල..."

"චමිත් මම ඇහුවම කිව්වා සතියකට ෆෝන් කාඩ් වලට 700 ගියාලු..."

"දැන් තේරෙනවා නේ ඉතිං චමිත් බොරු කියන්නේ කියල......"

"පාඩම් කියල දුන්න එක බොරු වෙන්න ඇති...... එත් ඒ ඉස්කෝලේ ඉමායා කෙනෙක් ඉන්නවා.. එයා චමිත් කිව්ව විස්තර වලට ගැලපෙන්නේ නැහැ... එකයි අවුල....."


අන්තිමට මලිති කියන දේ බොරු කියල ඉදිරිපත් කරන්න මට කිසිම විදියක් නෑ වගේ.. දැන් නම් මට හොයා ගන්න ඕනේ චමිත් බොරු කිව්වද එහෙනම් මොකක්ද අත්ත කියලා....හරියටම....!


මම ඉමායගේ ප්‍රොෆයිල් දෙක පුර්නිමාට පෙන්නන්න හිතා ගත්තා.... එයාගේ ඉස්කෝලේ mutual friends ලා ඉන්නවා නම් ඒක අනිවාර්යෙන්ම ඇත්ත වෙන්න ඕනේ නේ..... අනිත් එකට mutual friends ලා නැත්නම් ඒක ෆේක් ... හොද මිනුම් දණ්ඩක්....

මගේ පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් තිබ්බා.... මම ඒක අයෙත් ලස්සනට හැදුවා... ඉමායගේ එක ප්‍රොෆයිල් එකක ඉන්න කට්ටිය පේනවා නේ.. ඉතිං මම එකේ කට්ටිය හැමෝටම වගේ රික්වෙස්ට් දැම්ම... දැන් mutual friends ලා ගොඩක් හදන්න පුළුවන් උනොත් ඉමායා මගේ ෆේක් එක add කරයි.. එතකොට වැඩේ හරි...  තව මොනවා හරි හොයා ගන්න පුළුවන් වෙයිනේ.....


Wednesday, July 24, 2013

ෂුවර් එකටම චමිත් දේව්දාස් බලන්න ඇති..... (12 කොටස)

බීප් බීප්.... බීප් බීප්....

මොකක් චමිත් මැසේජ් එකක් එවල.... 

"ඔයා හැමදාම කරන වැඩ වලින් මගේ ආදරේ අඩු වෙනවා මිසක් වැඩි වෙන්නෙ නෑ නේද....  මම ඔයාට මගෙන් වැරද්දක් වෙයි කියල හැමදේම කලේ... "


දැන් ආයේ මොකක්ද මේ..... තව දිගයි මැසේජ් එක.....

"මම ඉමායට කෝල් කළා මැසේජ් කළා කියල මට එයාව ආදරයක් ඇති වෙන්නෙ නෑ..  මම වැඩිය යවන්නෙත් නෑ.. ඔයා නිසාමයි මට ඒක ගැන හිතන එකත් එපා වෙන්නෙ... මම ඔයාට වරදක් කරලා නෑ..."

"ඔයා ඉස්සර මුණ අප්සෙට් ගිය වෙලාවට මම කියනවා නේද ඔහොම මුණ එල්ලගෙන ඉන්නකොට මම කොහොමද ඉන්නේ කියලත්... මතකද...??"

හ්ම්ම්... ඇත්ත තමයි... මතකයි.....

"ඔයා හිතනවා නම් මම කවදාවත් ඔයාට ආදරේ කලේ නැ කියල ඒක ඔයාගේ වැරැද්ද...."

"මම ඔයාව දාල යන්නේ නෑ කියල පොරොන්දු උනා තමයි... මම පිලිගන්නවා... එත් ඔයාට මගෙන් වැරද්දක් වෙයි කියලයි මම මෙහෙම කලේ.. "

"මම නිසා එක්සැම් අවුල් උනා නම් එක මම කරපු ලොකුම පවක්... ඔයාට කතා නොකර හිටියේ දුක හිතෙයි කියලා... "

හ්ම්ම්....

"අන්තිමට මම බල්ලා උනා... මට නම් කමක් නෑ... මම ඔයාට වැරද්දක් කරලා නෑ.."

මොකක් බල්ලා....??? :O

"ඔයා මෙහෙම කරයි කියල මම කවදාවත් හිතුවේ නෑ.."

මේ මොන විකාරයක් ද...... මම මොකක්ද කලේ....

අයියෝ.... දැන් මොකක්ද මෙයාට රිප්ලයි කරන්නේ...... !! මොකද මේ චමිත් එකපාරම මෙහෙම මැසේජ් එකක් එව්වේ....

වැඩි වෙලා හිතන්න උනේ නෑ.... මෙන්න කෝල් එකක් එනවා අචිනි අක්ක ගෙන්.....

"නංගි, චමිත් එක්ක මම කතා කලා... එයා ඔයාගේ වැරදි කියන්න අවා.. මට මල පැන්නා... මමත් බැන්නා.."
"ආහ්හ්....."
"මම ඔයාට එව්වා චැට් එක....."

අහ්හ් එකයි මේ චමිත් ට දුක හිතිලා තියෙන්නේ...... අචිනි අක්ක චමිත් එක්ක කතා කරනවා කිව්වා තමයි... එත් ඒ අයේ අපි දෙන්නව යාලු කරන්න නේ...  ස්ලිට් එක්සැම් ඉවර උනාට මම සිමා වලට පාඩම් කර කර හිටියේ..... එත් මම එෆ්.බි. ලොග් වෙලා බැලුව මොකක්ද මේ කියල...

"මට දැනගන්න ඕනේ අනූ ගැන... මොකද මේ උනේ..."
"අනූ හරිම ආත්මාර්ථකාමී අනේ...."

මොකක් මෙයා මට කිව්වා නේ මම කරපු උදව් වලට ණයගැති කියල...

"ඇයි එහෙම කියන්නේ...."
"ඔයා මගේ යාලුවා නේ.. ඔයා කාටවත් මොකුත් කියන්න එපා.. එයා තමන් ගැන විතරයි හිතන්නේ..."
"හරි මම කාටවත් කියන්නේ නෑ.."
"මගේ පරණ ගර්ල් ගැන දන්නවා නේ..."
"මොන ගර්ල් ද... ඔයා මට කිව්වේ ඔයා ජිවිතේට කවදාවත් කෙල්ලෙක්ගෙන් අහල වත් නෑ කියල නේ.. එහෙම කියල මට අර හොස්ටල් එකේ දිලිනි ගෙන් කැමතිද අහන්න කිව්වේ...."

බයිට් ද මන්ද.... ඇත්තටම චමිත් අචිනි අක්කට ඉස්සර. එහෙම කිව්වා ලු... එත් චමිත් ඒ කතාවෙන් ලිස්සලා ගිහින් වගේ....

"එයා මට ඉදලා හිටලා කතා කරනවා...."
"හ්ම්ම්... ඉතිං..."
"අනුපමා ඒකට එක එක ඒවා කියනවා...."

දැන් ඒකද  මම ආත්මාර්තකාමී...???  ඒක මාර කතාවක් නේ... අචිනි අක්කට මල පනින එක අහන්නත්  දෙයක් ද...

"ඇයි ඒ පරණ ගර්ල් කතා කරන්නේ... මොනවද කියන්නේ...."
"එයාගේ වෙඩින් එක ජුලි වල තියෙන්නේ... එයා කතා කරොත් මම ඒක කියනවා අනූ ට..."
"හ්ම්ම් තව..."
"තව... මොකුත් නෑ.. මම අනූ ට කිව්වා වැරදි හදා ගන්න කියලා... ඇහුවේ නෑ..."
"මොනවද වැරදි....?"
"මම අනූ ට මොකක් හරි කාටවත් කියන්න එපා කිව්වොත් හැමෝටම කියනවා.. වැඩක් නෑ නේ එහෙම..."

හ්ම්ම්ම්.. එත් ඉතිං එයාට ඉමාය ගැනයි ඉමායා ගෙදර ඇවිත් එයාව නැගිට්ටෙව්වා වගේ දේවල් කියද්දී මම කාටවත් නොකිය ඉන්නේ කොහොමද... අනිත් එක මලිති ට විතරයි ගොඩක් වෙලාවට කියන්නේ.... කාට හරි යන්න ඕනේ උනාම හිනා වෙන එකත් හෙතුවක් ලු නේ...

"ඔයා ඔහොම කතා කරලා ජුලි මාසේ බදින පරණ ගර්ල් ට කරන්නෙත් වැරද්දක්..."
"ඒ කෙල්ලෝ හිතන හැටි..."
"මම දන්නවා කොල්ලෝ ගැන... affair එක නැති උනාට ආදරේ නැති වෙන්නෙ නෑ නේ චමිත්... "
"මම නම් කෙල්ලෝ වැඩිය ආශ්‍රය කරලා නෑ... එත් කෙල්ලෝ ආත්මාර්ථකාමී කියල නම් දනන්ව.."

"මේ චමිත්.. මම ඔයා ගැන හොයල බැලුවා.. මම අනූ නම් මෙච්චර කල් ඉවසන්නේ නෑ..."

"මම ගැන??"

"ඔව්.. ඔයා ස්ලිට් එකේ බුට් තිබ්බ පලවෙනි කෙල්ල අනූ නෙමෙයි.... මිනිස්සු කියන්නේ බෝනික්කියෝ නෙමෙයි චමිත් ඔයාගේ බොරු විශ්වාස කරන්න.... "

"ඕනේ මගුලක් හිතා ගන්නවා... ගැනු ඔක්කොම එකයි...."

"ඔව්..... ඔයා වගේ බලු මිනිහෙක් අනූ ට ඕනේ නෑ... අනුටත් පිස්සු නේ ඔයා වගේ කොන්ද පන නැති කොල්ලෙක් එක්ක යාලු වෙන්න... "

අපොයි....!!

අචිනි අක්ක චමිත් ව ගොඩක් කල් ඉදලා අදුරනවා... දෙන්නම නුවර... චමිත් මට එකක් කියලා අචිනි අක්කට කියන්නේ මගේ වැරදි නේ.... :@


"අම්මේ.... මම මලිතිලගේ ගෙදරට ගිහින් එන්නම්.... "

මම ගිය ආත්මේ මොකක් හරි පිනක් කරලා තියනවා මගේ හොදම යාලුවා එහා ගෙදර ඉපදෙන්න... නෑ නෑ එයා පින් කරන්න ඇති මම අපේ ගෙදර ඉපදෙන්න..... මොකක් හරි කමක් නෑ.....

"මෙහෙමයි චමිත් අචිනි අක්කට ඔහොම කිව්වා නම් එයාගේ යාලුවන්ට කියන්නෙත් ඔය කතාවම තමයි....."
"හ්ම්ම්....."
"තීක්ෂණලා.. අමල්ෂලා... නාලකලා ඔක්කොම දැන් හිතයි මේ විදියට... අපිනේ දන්නේ ඇත්ත... අනේ මෙහෙමත් කොල්ලෝ ඉනන්වනේ...."
"හ්ම්ම් දැන් මොනවා කරන්නද ඉතිං...."

මලිති කියන කතාව හරි හැබැයි... කොල්ලෙක්  කවදාවත් තමන් වැරදිකාරය කියල තමන්ගේ යාලුවන්ට කියන්නේ නැ නේ.....


                                                                  ***
එත් චමිත් ට මගේ රිප්ලයි එක.......

"මම ඔයාට මොකුත් කිව්වේ නෑ නේ චමිත්... මට ඔයාව තේරුම් ගන්න පුළුවන්.. එකනේ මම කිව්වේ පස්සේ බලමු කියලා..... එයාල මටත් බනිනවා හොදටම......  "

"මම මෝඩයි නම් තමයි.... මගේ කොන්ද පනත් නෑ තමා... මගෙත් ඉවසීමේ සීමාවක් තියනවා කෙල්ලෙක් නිසයි කට වහගෙන හිටියේ.... තැන්ක්ස් මාව තේරුම් ගත්තට....  එත් මගේ හිත හැදෙනකම් බලන් ඉන්න එපා.. "

"ඇයි....?"

"අපේ අම්මට ඕනෙලු ඉමයාගේ වෙඩින් එකට වැඩිය හොදට මගේ වෙඩින් එක කරන්න.... ඉමායගේ අම්මලට පේන්න... මට proposal එකක් ඇවිත් ලු අම්ම එකට කැමති වෙලා ලු... මම නම් කැමති නෑ... එත් අම්ම කියන දේ අහන්න වෙනවා නේ... අම්මට ඉන්නේ මම හිතරයි...." 

හ්ම්ම්...... ඒ චමිත්....

                                                            ***

"මේ මේ ඕව වෙන්නෙ ෆිල්ම්වල... ෂුවර් එකටම චමිත් දේව්දාස් බලන්න ඇති... මතකද එකේ අර අයිශ්වර්යගේ අම්ම ශාරුක් ගේ අම්මට පෙන්න වෙඩින් එක කරන්නේ....."  

"මම නම් කියන්නේ චමිත් ට පිස්සු... එක එක ෆිල්ම් වල ඒවා ආදේශ කරගන්නවා එයාට... දැන් කලින් ආදරණිය වස්සානය වගේ ඉමාය ඇවිත් නැගිට්ටෙව්වා කිව්වා...  දැන් දේව්දාස්...."

"අනික proposal එන්නේ කෙල්ලොන්ට කොල්ලොන්ට නෙමෙයි...."

"ඔයාට පිස්සු නේ... ඇයි රිප්ලයි කලේ....."

හිතාගන්න පුළුවන් නේ මේ දේවල් කිව්වේ මලිති කියල....!

තව හැමදාම කියන ටිකත් කිව්වා...

"මම නම් කියන්නේ ඉමයත් බොරු.. එයාගේ ලෙඩෙත් බොරු.. චමිත් ට දැන් වෙන කෙල්ලෙක් ඇති..."

අනේ පවු ඒ කොල්ලා.. දැන් මූදේ පනීද දන්නේ නෑ.... (11 කොටස)

"හ්ම්ම්.... චමිත් තවත් හොද ප්ලේයර් කෙනෙක් වගේ..."
"ඔව් ඔව් එයා මුල ඉදලම බොරුව කලේ..."
"මම නම් කියන්නේ එයාගේ ලෙඩෙත් බොරු... "

"කැන්ඩි ඩෝග්ස් අනූ... ඔයා දුක් වෙන්න එපා... හැමදේම වෙන්නෙ හොදටලු නේ...."
"මේ මේ..... නුවරට මොකුත් කියන්න එපා හරිද... අපිත් නුවර..."

"ඔයාට හොද කෙනෙක් හම්බෙයි අනූ... ඕව හිතන්න එපා..."
"ඔව් නංගි ඔයා දැන් හිත හදාගන්න.... "

මගේ යාලුවෝ... එක්සැම් එකට ඔන්න මෙන්න තියෙද්දී පාඩම් කරන්නේ නැතුව මගේ හිත හදනවා.. මම ගොඩක් වාසනාවන්තයි මගේ යාලුවෝ ගොඩක් ලගින් ඉන්න නිසා...

එදා අපේ එක්සැම් ඉවර උනා... දැන් අයේ චමිත් ව දකින්නෙත් ඊළග සෙමෙස්ටර් එකේ... මාසයක් දෙකක් තියනවා එයාව අමතක කරන්න.. හොදයි ... මමත් හිත හදාගන්න තීරණය කළා...

චමිතගේ යාලුවාතීක්ෂණ ට කිව්වා එයා කරපු උදව් වලට තැන්ක්ස් කියල....

චමිත් ව මගේ නිව්ස් ෆීඩ් එකෙන් අයින් කළා... එයා මුතූගෙ ෆොටෝ වලට like දානවා බලන්න ඕනේ නෑ නේ..

බුට් සින්දු  නම් ඇහුවේ නැ වැරදිලා වත්.....

                                                                          ***

"අක්කේ.... ඇයි ඔයා දැන් මල් කඩන්නේ නැත්තේ..."    

හ්ම්ම්... අපේ නංගිටත් ඕනේ නැති දෙයක් නෑ....මට තව මේ වගේ කි දෙනෙක්ට උත්තර දෙන්න වෙයි ද මන්ද..

"හ්ම්ම්ම්... එහෙම තමයි... ඒ නිකන්. හැමදාම මල් කඩන්න හොද නෑ..... " 

නංගිට ඒ වගේ කතාවක් කියල මම ශේප් එකේ ලිස්සල ගියත් අම්මට ඇත්තම කියන්න තීරණය කළා.. දෙතුන් පාරක් කියන්න හිතුවත් ඒක කියන එක එච්චර ලේසි උනේ නෑ....

"ඕකනේ කියන්නේ ඕව ගෙදරට කියන්න එපා කියල... ඒක තමයි මෝඩම වැඩේ...."
"ඉතිං චමිත්මයි කිව්වේ දවසක් අම්මලට කියන්න කියලා...."
"ඒ බුරුවට පිස්සු..."
"මම හිතුවා ඉතිං අම්මලට කියන්න කිව්ව නිසා ප්ලේයර් කෙනෙක් නෙමෙයි චමිත් සිරා වෙන්නැති කියලා.."
"එත් ඇයි කිව්වේ.... අපේ ගංගා අක්කගේ එක අම්මලට කිව්වා විතරයි අකමැති උනා.. එදා එයා අපිට කිව්වේ ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා කියලා... "
"හ්ම්ම්...."
ඒ මලිති... දන්නවනේ ඉතින් එයාට කොහොමත් චමිත් ව පේන්න බෑ.. 

කොහොම කොහොම හරි අන්තිමට මම අම්මට කතාව කිව්වේ ටිකක් වෙනස් විදියකට...

"අම්මේ... මම චමිතගේ affair එක නැවැත්තුවා...."
"ඒ ඇයි...?"
"එහෙම තමයි... එයා හරියන්නේ නෑ... "
"අනේ පවු ඒ කොල්ලා.. දැන් මූදේ පනීද දන්නේ නෑ...."

අම්ම හරි කැමතියි චමිත්ට... නංගිත් කැමතියි.. තාත්තා නම් අකමැති කිව්වෙත් නෑ කැමතියි කිව්වෙත් නෑ....

"නෑ නෑ එහෙම වෙන්නෙ නෑ...."
"හ්ම්ම්.... එත් ඇයි.... නතර කලේ... "
"එහෙම තමයි..."
"දැන් ඒ ළමයා කොහෙන් හරි බිමට වත් පනී ද දන්නේ නෑ.... ඔහොම කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එපා"

අම්ම හිතන්නේ චමිත් මට ගොඩක් ආදරේ කරද්දී මම එයාව අත ඇරිය  කියල... මට මගේ ගැනම දුකයි.... අම්ම ගැන ඊටත් වඩා දුකයි....

හ්ම්ම්... චමිත් ගැන මට අම්මට කියන්න පුළුවන් උනා නම්....

"නෑ නෑ එයා එහෙම කොහෙන්වත් බිමට පනින්නේ නෑ අම්මේ... එපා මේක ගැන අයේ කතා කරන්න... "
"අහ්.. නංගිටත් කියන්න..." 

කරගන්නම දෙයක් නැති තැන එහෙම කියලා මම එතනින් නැගිටලා ගියා...

                                                                          ***

"මගේ යාලුවෝ ගොඩක් චමිත් ගැන දැනගෙන හිටියා... අම්මලත් දන්නවා... දැන් හැමෝම දැනගන්නවා ඒක මාස 6න් වගේ ඉවරයි කියලා.... අනේ මන්ද මිනිස්සු මොනවා හිතයිද දන්නේ නෑ මගේ ගැන.... "
 

ගැණු ළමයි හැමෝටම මෙහෙම හිතෙනවද කියන්න නම් මම දන්නේ නෑ. නමුත් මට නම් ඒ කාලේ මේ විදියට හිතුනා.. අම්මලා උනත් මට කිව්වේ මොකක්ද මේකේ තේරුම ඔයාට තේරෙන්නේ නෑ රිලේෂන්ශිප් එකක් තියා ගන්න කියල.. අයේ නම් පැටලෙන්න එපා ලු... 

"මිනිස්සුන්ට ටික කාලෙකින්  ඕව අමතක වෙනවා... ඔයාට කොල්ලෙක් නැතුව ඉන්න බැරිද තව අවුරුද්දක් විතර..."එහෙම කිව්වේ ඉස්කෝලේ යන කාලේ ඉදන් මගේ හොදම යාලුවෙක් රමිත්...

"අනිත් එක මිනිස්සු මොනවා හිතුවත් මොකද... ඔයාගේ ජිවිතේ නේ... අර වගේ කොල්ලෙක් එක්ක ඉන්නවට වැඩිය ඔහොම උන එක හොදයි... "

දැන් හිතෙනවා රමිත් කිව්වා දේ ඇත්ත කියල.. 

එත් ඒ වෙලාවේ මම කිව්වේ මේ වගේ කතාවක්...


"ඔයා දන්නේ නෑ... චමිත් මට ගොඩක් ආදරෙයි.... යාලු උන මුල් කාලේ... පස්සේ අර ඉමාය  තමයි වැඩේ කෑවේ...." 


තමන්ව දාලා ගිය කොල්ලෙක් ගැන කෙල්ලෙක්ට තේරුම් කරලා දෙනවට වැඩිය හරකෙක් ට අවකලනය කියල දෙන එක ලේසි ලු...

රමිත් ට, මලිති ට  වගේම මගේ යාලුවෝ හැමෝටම  ඒ වෙලාවේ එහෙම හිතෙන්න ඇති...

Monday, July 22, 2013

මට දහස් වාරයක් සමා වෙන්න. (10 කොටස)

"අවුලක් වෙන එකක් නෑ චමිත්..  අද පේපර් එක හැමෝටම අමාරුයිනේ..."
"හ්ම්ම්ම්...."

හෙටින් එක්සැම් ඉවරයි....  මම අල්ලගන්නම් චමිත් ව...

"චමිත් හෙට එක්සැම් ඉවර වෙලා මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ..."
"මට බෑ.."         

පුහ්හ්...  බලන්නකෝ මෙයාගේ ගෑස්.... ළග පාත හිටිය නම් මගෙන් ගුටි කනව...

"ඇයි බැරි..."
"මට බැරි නිසා... සොරි...."      
"එත් මට ඔයත් එක්ක කතා කරන්න දේවල් ගොඩක් තියනවා..."
"දැන් කියන්න.."

මොනව කරන්නද දැන් කියන්නලු නේ.....කාලයක් තිස්සේ කියන්න හිතන් හිටිය දේවල් ගොඩක් තිබ්බට චමිත් ට තරහ යන්නේ නැති විදියට ඒ හැම දේම එක මැසේජ් එකකට ගොනු කළා...

"ඔයාට ඉමාය ගොඩක් ආදරෙයි කියල මම දන්නවා.. ඔයා මට ඇත්ත කිව්ව එක හොදයි.. එත් ඔයා දැන් යාලුවෙක් විදියට වත් මගේ ගැන හොයල බලන්නේ නැ වගේ... චමිත් මම නේද ඔයාගේගේ ගර්ල්.... මතක නැද්ද ඔයයි දවසක් මගෙන් ඉල්ලුවේ ඔයාට ආදරේ කරන්න කියලා....."

එයාට අපි ගැන මතක් කරන්නයි මට ඕනේ උනේ... එත් චමිත් ගෙන් ලැබුනේ හිතුවේ නැති උත්තරයක්....

"මම ඔයාට ආදරේ කරන්න හිතුව එක මගේ වැරැද්ද... මම වැරැද්ද කරලා ඔයාට දුකක් දෙන්න උනාට මට දහස් වාරයක් සමා වෙන්න.. මට ඔයාට ආදරේ කරන්න බෑ කවදාවත්..  මම ඔයාගේ හොදම යාලුවෙක් වගේ ඕනේ ප්‍රශ්නෙකදී ඔයා ලග ඉන්නවා.. ඔයාට එක්සැම් ඉවර වෙනකම් හිටියේ මේක කියන්න.. "

හ්ම්ම්.... මැසේජ් එක තව දිගයි.....

"ඔයා මට ගොඩක් උදව් කළා මම ඔයාට ණයගැතියි... දැන් හෙට එක්සැම් අප්සෙට් කරගන්න එපා මේක නිසා... සමව දෙන්න පුළුවන් නම් දෙන්න...."

හ්ම්ම්... මම දැනගෙන හිටිය ලගදීම චමිත් යන්න යනවා කියලා.... දැන් ඉතින් දාල යන්න එපා කියල අඩන්නද මම...මොනවා කරන්නද.. චමිත් මයි කියන්නේ හැම දේම වෙන්නෙ හොදට කියලා....

"ඔයාගේ තීරණේ එක නම් ප්‍රශ්නයක් නෑ... ඉමායගේ වෙඩින් එක කවද්ද.. එදාට ඔය තනිවෙයි.. ඔයාගේ හිත පස්සේ වෙනස් උනොත් අපි බලමුකෝ.. "

"හ්ම්ම් තැන්ක්ස් මාව තේරුම් ගත්තට....." 

චමිත් ට මොකුත් කිව්වේ නැති උනාට එදා රෑ ගෙදර හැමෝටම හොරෙන් මම ගොඩාක් ඇඩුවා...

චමිත් affair එක නවත්තයි ද... ඉමායා එක්ක අයේ සෙට් වෙයි ද... වගේ දේවල් මට ටික කලෙක ඉදන් හිතිලා තිබුනත් එක පාරටම දරා ගන්න ලේසි උනේ නෑ...

චමිත් මොනවා කරන්නද.. එයා ඇත්තම කිව්ව එක හොදයි නේ..... ඕනේ නම් චමිත් ට කෙල්ලෝ දෙන්නම තියාගන ඉන්න තිබ්බ නේ....  මම ඒ විදියට හිත හදාගන්න උත්සහ කලත් මතක් උනේ ඒ අතීතයමයි....

චමිත් මාත් එක්ක චැට් කලේ එෆ්.බි....  එයාමයි  මාව ඇඩ් කලේ... හැමදාම වගේ චැට් කළා... එයා තමයි හැමදාම චැට් එක පටන් ගත්තෙත්... මම කවදාවත් එයාගේ ෆොටෝ එකකට ලයික් එකක් වත් දාලා නෑ..

එත් දවසක් චමිත් මගෙන් කැමති ද ඇහුවම හැම දේම වෙනස් උනා... මමත් තව සම්ප්‍රදායික කෙල්ලෙක් වගේ චමිත් ට කිව්වා ඉතිං පස්සේ කියන්නම් කියලා...

අනේ අද උත්තරයක් දෙන්න... හෙට වත් කියනවද..  වගේ දේවල් කිය කියා ෆුල් අප්සෙට් මූඩ් හිටියේ චමිත් ඒ කාලේ...
මමත් ඇහුව ඇයි මගේ උත්තරේට මෙච්චර හදිස්සි කියලා.. මම බෑ කිව්වොත් හිත හදා ගන්න කල් ඕනේ ලු එයාට...

චමිත් ව සැක කරන්න මට කිසිම හේතුවක් පෙනුනේ නෑ.. අනිත් එක එයා බොන්නේ නෑ කියල ආරංචි උනාම මගේ හිත ඇදී ගියා කියල තමයි මලිති කියන්නේ...
චමිත් කාටවත් කියන්න එපා කිව්වට මගේ යාලුවෝ හැමෝගෙන්ම වගේ අහල බලල අන්තිමට දවස්  2කින් විතර මමත් කැමතියි කිව්වා චමිත් ට...

චමිත් මට ගොඩක් ආදරේ කළා... මට දැනුනේ ඒ විදියට...

හ්ම්ම් දැන් ඉතිං ඒ හැමදේම ඉවරයිනේ...  ලස්සන මතකයන් විතරයි ඉතුරු...

පරණ දේවල් මතක් කර කර ඉදලා මම නිදා ගත්තේ පාන්දර 3ට විතර...

එත්..

චමිත් ට ඉමායා නිසා වෙන කාටවත් ආදරේ කරන්න බැරි නම්.. මොකක්ද අර මුතූ කියන කතාව.....  එතකොට චමිත් ව දාලා ගිය කෙල්ල කවුද.. ඉමායද... ඉමායා දාලා ගියා නම් ඇයි චමිත් මගේ affair එක නැවැත්තුවේ....

එත් චමිත් අයේ මගේ ජීවිතේට එයි කියල මට එදා හිතුනේ ඇයි දන්නේ නෑ...  

ප.ලි. කතාව අවසාන නැත... තවත් පටන් ගැන්මකි...

Sunday, July 21, 2013

දැන් කවුද චමිත් ව දාල ගියේ (09 කොටස)

කවුද මේ මුතූ.....

මම ගියා එයාගේ ප්‍රොෆයිල් එකට... අහ්හ් මෙයාට කොල්ලෙක් ඉන්නේ... in a relationship with මල්ෂාන් තාරක... එහෙනම් එයාට පිස්සුද අර වගේ ෆොටෝ එකක් දාන්න චමිත් ගේ වෝල් එකේ...

මෙයා ස්ලිට් නේ... මම කවදාවත් දැකලත් නෑ මෙහෙම එක්කෙනෙක්......  මලිති දන්නවද දන්නේ නෑ...

"නෑ නෑ මම මෙයාව දැකල නෑ... අලුතින් ආව එක්කෙනෙක් වෙන්න ඇති..."
"එයාට කොල්ලෙක් ඉන්නවා නම් මොකක්ද මේ දාල තියන ෆොටෝ එක....."
"හ්ම්ම්ම් ආදරය නොකියා ආදරය කරන්න...."
"එයත් එක්ක චමිත් යාලුද දන්නේ නෑ..."
"පිස්සුද ඔයාට මේ එයාට කොල්ලෙක් ඉන්නේ..."
"එහෙනම් ඇයි මේක දැම්මේ..."
"එයාගේ යාලුවෙක් එක්ක චමිත් යාලු ඇති එහෙනම්..."
"හ්ම්ම්...."
"කෝ එයාගේ ෆොටෝස් පේනවද..."
"ඔව් ඔව්... අහ්හ් එයා මට වැඩිය ලස්සනයි නේද..."
"නෑ ඉතින් සුදුයි එච්චරයි..."
"කොහොමත් එයා නම් චමිත් එක්ක යාලුයි වෙන්න බෑ... එයාට කොල්ලෙක් ඉන්නවනේ..."
"හ්ම්ම් බලමුකෝ..."
"මොකුත් අහන්නවත් මේ මිනිහ මාත් එක්ක කතා කරන්නේ නෑ නේ ඉතින්..."

එයා ගැන තව විස්තර බලන්න අපි එයාට රික්වෙස්ට් එකක් දැම්මා.... ඇක්සේප්ට් කරොත් හොදයි... මමත් ස්ලිට් නිසා ඇක්සේප්ට් කරයි ගොඩක් දුරට.....

"කෝ තව පහලට යන්න චමිත් ගේ ප්‍රොෆයිල් එකේ...."
"මේ......"

අහ්හ් මේ මොකක්ද චමිත් share කරල තියෙන්නේ....මුතූ දාල තිබ්බ ෆොටෝ එක දැක්ක විතරයි මට හැම දේම අමතක උනානේ... මම මේක දැක්කේ නෑ....


"අහ්හ් ඔව්මයි....."
"දැන් කවුද චමිත් ව දාල ගිය කෙල්ල... "
"ඉමාය වෙන්නැති...."
"ඔයාට පිස්සු...."
"එහෙනම් එයා මුතූ එක්ක යාලු වෙලා මුතූ එයාව දාල යන්නැති..."
"එතකොට මම....??"
"අහ්හ් මුතූ ගේ කොල්ල එතකොට...."
"ඒකනේ ඉමාය දාල යන්නැති... අනේ හොදයි..."
"එහෙනම් මුතූ දාල තියන ෆොටෝ එක මොකක්ද....."

අපි දෙන්නටම මේක නිකන් හතර බීරි කතාවක් වගේ....

මමයි මලිතියි මේ විකාර බැලුවට හෙට අපිට එක්සැම්.. හැමදාම එක්සැම් එක ලග එද්දී මොකක් හරි හුටපටයක් වෙනවමයි අපි දෙන්නට....   මලිති මගේ එහා ගෙදර ඉන්න නිසා අපි දෙන්නට ඕනේ තරම් වෙලා තිබ්බ මේවා ගැන කියව කියව ඉන්නයි... පාඩම් කරන්නයි....  

.මම නේ එයාගේ ගර්ල්... ඉතිං වෙන්නෙ මොකක්ද කියල දැනගන්න මටත් අයිතියක් නැද්ද?.... එදා රෑ චමිත් එක්ක දෙකින් එකක් කතා කරන්න ඕනේ කියල හිතලා කෝල් එකක් ගත්තා... එත් ඒ බුරුවා ආන්සර් කලේ නෑ...

Saturday, July 20, 2013

ආදරය නොකියා ඔබට ආදරය කරයි..... (08 කොටස)

"අම්මෝ ෆොටෝ ගොඩ ගොඩක් තියනවා...."
"බලමු මුල ඉදන්..."
"අහ්හ්.. මේ චමිත්ලගෙ අලුත් බෝඩිම ද.....  "
"මරු නේද...?"
"මේ බලන්නකො හැම ෆොටෝ එකකම ෆෝන් එක අතේ... මට නම් එක මැසේජ් එකක් වත් එව්වේ නෑ... "
"මම නම් කියන්නේ එයාට දැන් වෙන කෙල්ලෙක් ඇති.. "
"වෙන කෙල්ලෙක් කොහෙද.... ඔය ඉමායා...."
"නෑ නෑ ඔය පලවෙනි ගර්ල් අමතක කරන්න බෑ කියන්නේ තනි බොරුව.. ඒ ගොල්ලොන්ට යන්න ඕනේ උනාම කියන කතාවක්..."
"හ්ම්ම්ම්..."
"මගේ යාලුවෙක්ටත් එහෙම උනා.. ඒ කොල්ල පලවෙනි එක අමතක කරන්න බෑ කියල වෙන එක්කෙනෙක් එක්ක යාලු උනා..."
"හ්ම්ම්ම්...."

මලිති ට පිස්සු... වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ ඇයි චමිත්... එත් ෆොටෝ 10ක් ගත්තොත් 9ක චමිත් මල් කඩනවා... මට එක මැසේජ් එකක් වත් එවන්නේ නෑ දැන්...  ඇත්තටම ආයේ ඉමායා එක්ක චමිත් සෙට් වෙලාද දන්නේ නෑ.. ඉතිං එහෙනම් මට කියන්න එපැයි....

"අහ්හ් මේ අර දන්සලේ ෆොටෝස් නේද..."
"ඔව්මයි.... මේ කට්ටිය ළුණු සුද්ද කරන ඒවත් තියෙන්නේ..."
"ලොල්..... මරු... "
"මුන් දන්නවා නම් අපි මේවා බැලුව කියල... මරනව අපි දෙන්නව..."

හ්ම්ම්.... එත් අන්තිමට ෆොටෝස් වල මහ ලොකු දෙයක් තිබ්බේ නෑ..

දැන් නම් මට හිතෙනවා චමිත් ලගදීම මේක නවත්තයි කියලා... අද වෙන්නත් පුළුවන්.. හෙට වෙන්නත් පුළුවන්... තව සතියකින් වෙන්නත් පුළුවන්....  අනේ මන්ද අයේ ඉමායා අවා නම් මට තේරුම් ගන්න පුළුවන්... ඒක අවුරුදු 6ක් ලු නේ.. චමිත් මාත් එක්ක යාලු වෙලා මාස 6ක් වෙන්නෙ මේ මාසේ 19ට...

"ඔයාට හිතෙනවද චමිත් මේක නවත්තයි කියල... " මම  ඇහුව තීක්ෂණ ගෙන්....
"නැ මම හිතන්නේ නෑ.. අපි බලමුකෝ... " ඒ තීක්ෂණ ගේ උත්තරේ....

එත් ඉතිං චමිත් කෝල් එකක් වත් දෙන්නේ නෑ... මාව ස්ලිට් එකේදී දැක්කත් බලන්නේ නැතුව ගියා ඊයේ...

                                                                 *  *  *

හෙට එක්සැම් උනත්... එදා රෑ ගොඩක් කාලෙකින් එෆ්.බි. එකට ලොග් උනා... අපෝ...නොටිෆිකේෂන් ගොඩයි...  බලමු චමිත් ගේ ප්‍රොෆයිල් එක මුලින්ම....


"හොද මිතුරා ආදරය නොකියා ඔබට ආදරය කරයි..."

මොකක්....

'මුතූ කල්පනා රණවීර' කියල ගර්ල් කෙනෙක් මේ ෆොටෝ එක චමිත් ගේ වෝල් එකේ දාලා...

මේ මොන විකාරයක් ද....කවුද මේ මුතූ..... 

Thursday, July 18, 2013

ඕක නවත්තලා දන්න (07 කොටස)

හැමදාම වගේ මමයි මලිතියි පාඩම් කරන්න ස්ලිට් ගියා.. චමිතුත් අවා.. එත් කතාවක් නම් නෑ.... මාව දැක්කොත් ලාවට හිනා වෙලා යනවා විතරයි...

"අර බලන්න චමිත්. ෆෝන් එක අතේ හැමවෙලාවෙම...."
"ඔව් ඔව් මමත් දැක්ක ඊයෙත් හිනා වෙවී කෝල් එකක ඉන්නවා..."
"මට ඊයේ දවසට එක මැසේජ් එකක් වත් එව්වේ නෑ... පෙරේද 2ක් ද කොහෙද එව්වා...."
"ඔය ඉමායා ද කතා කරන්නේ එයාට...."
"දන්නේ නෑ.. ඇහුවොත් කියයි අම්ම කතා කලේ කියල.. චමිත් ඒ ජාතියේ නේ..."
"අනේ මන්ද..."
"චමිත් එෆ්. බි. යනවා... එත් මාව පෝක් කරන්නෙවත් නෑ... මගේ ෆොටෝ වලට ලයික් දාන්නේ  නෑ.. මගේ යාලුවන්ගෙ ඒවාට නම් ලයික් දානවා..."
"හ්ම්ම්...ඔයා කතා කරලා බැලුවද එයාට.."
"ඔව් අනේ මම කි පාරක් කතා කලද..."

"හ්ම්ම්... ඕක නවත්තලා දන්න..."
"මොකක්...."
ඒ කවුද කියල හිතාගන්න පුළුවන් නේ.. ඒ මලිති....

චමිත් ස්ලිට් ආවම හැමදේම හරියයි කියල මම හිතුවට මොකුත් වෙනස් උනේ නෑ..  දැන් නම් ෂුවර් චමිත් වෙන කාත් එක්ක හරි කතා කරනව මාව එපා උනාට.. අර ඉමායා වෙන්න ඇති.. එත් මම මොනව කරන්නද මාත් එක්ක කතාවක් නැත්නම්...

දවසක් අපි ඩි බ්ලොක් එකේ පාඩම් කරද්දී එතනට අවා තීක්ෂණ... අර චමිත්ගෙ රුම් මෙට්..

"මේ.. අර 2011 පේපර් එකේ උත්තර තියනවාද..."
"ඔව්.. පෙන් ඩ්‍රයිව් එකක් දෙන්නකො.. දාල දෙන්නම්..."

තීක්ෂණ
මට එයාගේ පෙන් එක දීල ගියා..

"මේ.. ඔය පෙන් එකේ මොනවද තියෙන්නේ..." මම හිමින් ඇහුව මලිති ගෙන්...
"ම්ම්ම්ම්.... පොටෝ වගයක් නම් තියනවා...ඒගොල්ලොන්ගේ.... "
"හ්ම්ම්... කොපි කරමු ද..."
"කමක් නැද්ද..."
"චමිත්ගෙ ෆොටෝනේ.... "

වැඩි වෙලාවක් ගියේ නෑ ඒ ටික මගේ ලැප්ටොප් එකට කොපි වෙන්න... ඔක්කොම වැඩ නවත්තල අපි දෙන්න ෆොටෝ බලන්න පටන් ගත්තා...

ආව්.. ආව්.. දෙන්නගේ හිනාව (06 කොටස)

"චමිත් එනවා කිව්ව වෙලාවට යන්න එපා... ඔයා විනාඩි 30ක් පරක්කු වෙලා යන්න...."

ඒ මගේ පණ්ඩිත යාලුවන්ගේ උපදෙස්... කොහොම කොහොම හරි චමිත් එනවා කිව්ව වෙලාවට මමත් ස්ලිට් අවා.. එත් මෙන්න මෙයා එක පාරටම කෝල් ගන්නෙත් නෑ... මැසේජ් කරන්නෙත් නෑ..

අන්තිමට ශානි අක්කි කියනකම් මම දන්නේ නෑ චමිත් ආවා කියලා..

"නංගා අද චමිත් ඇවිත් නේද...."
"දන්නෑ අක්කි... මම උදේ ස්ලිට් අවේ එයා එන නිසා...  එයා අවා කියල තාම මට කිව්වේ නෑනේ .."
"අහ් චමිත් ඇවිත් ගොඩක් වෙලා.. දැන් ඒගොල්ලෝ බේස් කැන්ටින් එකේ ඇති..."

මහ බුරුවෙක්...  ස්ලිට් ඇවිත් අවා කියල කියන්න බැරිද....
මම ගියා බේස් කැන්ටින් එකට....  මේ ඉන්නේ චමිත් යාලුවෝ සෙට් එකත් එක්ක....

"ආව්.. ආව්... දෙන්නගේ හිනාව බලන්නකෝ.... "
"වැඩක් නෑ මුන් තාම අපිට පාටි දුන්නෙ නෑ..."
"ලෙඩාට යැව්ව කෑම නම් රහයි..."
ඒ චමිත් ගේ යාලුවෝ...

එත් එදා චමිත් මාත් එක්ක මොකුත් කතා කලේ නම් නෑ.. හිනා වෙවී හිටියා.. යාලුවෝ යද්දී යන්නම් කියල එයත් ගියා..

එදා මට දැනුනේ චමිත්ගෙ ලොකු වෙනසක්... වෙනදා තියන ලෙන්ගතුකම වෙනුවට ආගන්තුක බවක්.... චමිත් ගොඩක් මගෙන් ඈතට ගිහින් වගේ...

Tuesday, July 16, 2013

හෙට මම එනව කොළඹ (5 කොටස)

"මම අද ඉමායට කිව්වා ඔයා ගැන .."

ඉමාය කියන්නේ මම කතා කරන්න අකමැති මාතෘකාව...  එත් දැන්වත් එයා චමිත්ටයි මටයි පාඩුවේ ඉන්න දෙයි නේ..ඒ නිසා ශේප් එකේ විස්තර ටික ඇහුවා... 

"අහ්හ්... ඉතිං ඉමායා මොකද කිව්වේ..."
"ඔයාව මීට් වෙලා බලන්න ඕනේ ලු එයාට.... "

ඒ මොන විකාරයක් ද....ඉමායා චමිත්ගේ අම්මද මාව මීට් වෙලා බලන්න...
ඕව කතා කරලා වැඩක් නැති නිසා කතාව වෙන පැත්තකට හැරෙව්වා...  

"හ්ම්ම්... ඉමායා අදත් ඔයාට කෝල් කළා ද..?"
"ඔව් ඊයේත් මැසේජ් කළා...."
"දවසකට මැසේජ් කියක් විතර එවනවද...?"
"ම්ම්.....20ක් 25ක්.."
"හ්ම්ම්..... දෙයක් අහන්නද..... මොකුත් හිතන්න එපා.. "
"අහන්න.."
"අවුරුදු 6ක් යාලු වෙලා ඉදලා ඔයාට එයා ගැන යාලුවෙක් විදියට විතරක් හිතන්න පුලුවන්ද චමිත්.... ?"
"දැන් ඔයා කියන්නේ මට ඉමායා එක්ක කතා කරන්න එපා කියලද... ??"

චමිත් මාත් එක්ක හරහටමයි කතාව...

"නෑ නෑ... මම එහෙම කිව්වේ නෑ නේ.... "
"ඔයාට දුකයි නම් මම නොකිය ඉන්නම්..."
"නෑ නෑ....."
"එහෙනම්..."
"හ්ම්ම්.... "

"පිස්සී....  අක්කලා එක්ක හෙට මම එනව කොළඹ... අල්ලගන්නම්කො එතකොට... "
"මොකක්.... ? ඔය ඇත්තමද චමිත්..? "
"මම බොරු කියන්නේ නෑ නේ..."

ඒ කතාව ඇහුනම මට නම් ඉහේ මලක් පිපුන වගේ...  ඉමායා.. ඇත්තද බොරුද හිතා ගන්න බැරි කොන්දේ අමාරු... ඒ හැම දේම අමතකයි.. මාසෙකින් විතර චමිත් ව දැක්කෙත් නෑ.. හෙට එනවා කියන්නේ.. පුදුමයි විශ්වාස කරන්නත් අමාරුයි...

මටත් පිස්සු හිතනවා වැඩි නේ... චමිත් හෙට මෙහෙ ආවම ඉමායගේ නාට්‍යය ඉවර වෙන්නෙ නැතැයි... 


"මේ.... මම හෙට ස්ලිට් යනවා.. චමිත් එනවලු...."
"චමිත් එනවා....? ඒ කියන්නේ දැන් එයාට හොදටම හොදයි..."
"වෙන්නැති... එකනේ හෙට එන්නේ... මම හිතුවේ එක්සැම් වලටත් මෙඩිකල් දන්න වෙයි කියලා.. "
"එයාගේ ලෙඩේ බොරු.. ඔහොම සනීප වෙනවද එකපාරටම කොන්දේ අමාරු..."
"ආවම බලමුකෝ.. ඇවිදින්න තාම අමාරුයි කිව්වා..."

අනේ අපොයි මලිතිට බ්‍රේන් වොෂ් එකක් දෙන්න වෙයි වගේ.... කමක් නෑ චමිත් ආවම හැමදේම හරියයි.. ලෙඩේ බොරු උනත්.. ඉමායා උඩ පැන්නත්... අවුලක් නෑනේ චමිත් මාත් එක්ක නම්....

වෙනදට මේ ලෝකේ නැති ප්‍රශ්න ගැන හිත හිත ඉන්න මට එදා ලොකු සැහැල්ලුවක් දැනුන....

"ඉක්මනට එන්න චමිත්.. මං බලාගෙන ඉන්නව ඔයා එනකම්....  "

Monday, July 15, 2013

චමිත් තනියම නුවර ඇවිත්... (04 කොටස )

චමිත් ගේ යාලුවන්ගෙන් මාත් එක්ක වැඩියෙන්ම ෆිට් තීක්ෂණ, චමිත් ගේ රූම් මේට්...  ඊයේ තීක්ෂණ ගියා චමිත් ව බලන්න තව යාලුවෙක් එක්ක...

"මට ආරංචි විදියට ලෙඩාට යැව්ව කෑම වලින් බාගයක් මගදී කවුද කාලා ලු..."
"අනේ අපි නම් දන්නේ නෑ ඒවා..."
"හාකෝ හාකෝ.... උදේම ගියාද ලෙඩාගේ ගෙදර.... ?"
"නෑ නෑ... එයා අවා K. C. C. (Kandy city center) එකට...."
"මොකක්  K. C. C. එකට ආවා චමිත් ?? "
"ඔව්. ඔව්.... සුවසෙවණ ට අවාලු ටෙස්ට් වගයක් කරන්න..."
"සුවසෙවණ.... සුවසෙවණ කියන්නේ හොස්පිටල් එකක් ද..."
"නෑ හොස්පිටල් එකක්..."
"අපි නුවර නෙමෙයි හලෝ..."
"නුවර යන්න ඉන්න එක්කෙනා නේ..... දැනගන්න එපැයි....."
"එකනේ මං ඔයාගෙන් අහල දැනගත්තේ..."

බයිට් කරන්නම තමයි චමිත් ගේ යාලුවොත් බලාගෙන ඉන්නේ....මම කොහොමද දන්නේ ලංකාව වටේම  තියන ඉස්පිරිතාල වල නම්.... 

  ඇයි චමිත් හදිස්සියේ නුවර අවේ.. තීක්ෂණල ගෙදර එනවට අකමැති ඇයි...  පොඩ්ඩක් අවුල් වගේ කියල මටම තේරුනා...

"මේ.. තීක්ෂණ චැට් කළා ඊයේ .. ඒගොල්ලෝ චමිත් ව බලන්න ගෙදර ගිහින් නැ.. චමිත් ආවලු  K. C. C. එකට..."
"දැන් එතකොට කොන්දේ අමාරු තියන ඇවිදින්න බැරි, රෝද පුටුවෙන් යන එක්කෙනාට එක්කෙනාට K.C.C එන්න පුළුවන්..."
"හ්ම්ම්... මොකක්ද ටෙස්ට් වගයක් කරන්න නුවර අවා ලු.."
"මම කිව්වා නේ චමිත් ගේ ලෙඩේ  බොරු... "
"නැ නෑ.... තීක්ෂණ කිව්වා චමිත් ට ඇවිදින්න අමාරුයි කියලත්..."
"එත් අමරුයි නම් ඔහොම එන්න බෑ නේ.. අර වගේ අමාරු එක්කෙනෙක් මෙච්චර ඉක්මනට සනීප වෙන්නෙ කොහොමද.. "
"ඇයි එයාගේ ඉමායා ඇවිත්... "
"අනේ මේ ඕව බොරු... අහු වෙන්න එපා...."
"හ්ම්ම්..."
"අනිත් එක කොන්දේ අමාරු අනාගතේ දි ප්‍රශ්න වෙන්න පුළුවන්.."
"මේ.. !@#$"

චමිත් බොරු කියනවා කියන රාමුවෙන් පිට මලිති හිතන්නේ නෑ.. චමිත් එහෙම බොරු කියන කෙනෙක් නෙවෙයි.. මමනේ දන්නේ එයා ගැන මලිති නෙමෙයි නේ.. එත් ඇත්තම කිව්වොත් දැන් නම් මටත් සමහර තැන් තේරුම් ගන්න ටිකක් අමාරුයි වගේ.. 

ඊට පස්සේ මම චමිත් ට කතා කලේ ඇයි මේ තනියම බස් එකේ නුවර අවේ අහන්න... එත් එයාගේ යාලුවන්ට ලෙඩේ ගැන කිව්වේ ඇයි කියල බැනුම් අහන්නයි උනේ අන්තිමට..  මට රහසක් රකින්න බෑ ලු.. චමිත් ට තේරෙන්නේ නැද්ද මන්ද ඇවිදින්න බැරුව රෝද පුටුවේ ඉන්නවා කියන්නේ එසේ මෙසේ ලෙඩක් නෙමෙයි.. එතකොට යාලුවන්ට අනිවාර්යෙන් කියන්න ඕනේ කියල...

Sunday, July 14, 2013

ඉමායට ෆේස්බුක් ප්‍රොෆයිල් දෙකක් (3 කොටස)

ඉමායා චමිත්ව බලන්න ආවට මට චමිත්ව බලන්න නුවර යන්න ලැබුනේ නෑ..  චමිත් කෑ ගැහුව එන්න එපා කියල.. ඉමායා ගැන අම්මල දන්න නිසා අවුලක් නෑලු... අනේ ඉතිං ඕනෙම නම් අම්මට කියන්න බැරිද මගේ ගැන..  කවුද දැන් එයාගේ ගර්ල්... ඉමායද....ඕව කතා කරලා වැඩක් නෑ එයත් එක්ක.....

"මොකක්ම හරි වෙලා ඉමායා අයේ ඔයාට කැමති උනොත්...... හ්ම්ම්.... ඔයා මොකද කරන්නේ... කැමති වෙනවද...?"  
දවසක් දා මම ඇහුවේ චමිත් ට තුරුල් වෙලා බස් එකේ එන ගමන්....

"අපෝ නෑ... දැන් ඔයා ඉන්නවා නේ... එයා පරක්කු වැඩි...."  
ඔන්න ඕකයි එයා  හිනා වෙලා මට දුන්න උත්තරේ...

ඒ උනත් චමිත් මට කතා කරන එක ටිකෙන් ටික අඩු උනා.. ඉදලා හිටලා වගේ කතා කරත්  කිව්වෙ ඉමායා ගැන..  ඉමායා එයාට කෝල් කළා / මැසේජ් කළා.. එක කතාවයි... එන පොට නම් හරියන්නේ නෑ කියල තේරුනත් මම කියල මොනවා කරන්නද... කෝල් කලාම ෆෝන් එක ගන්නේ නෑ... මැසේජ් එකක් යැව්වම රිප්ලයි නෑ....  ඉස්සර වගේ නෙවෙයි චමිත් දැන් ගොඩක් වෙනස් වෙලා..එයාට මාව ඕනේ නෑ වගේ...

"ඉමායාව මම ෆොටෝ එකකින් දැකල තියනවා... චමිත් තමයි දවසක් මම ඇහුවම ඒ ෆොටෝ එක එව්වේ... " 

මම මලිති ට ෆොටෝ එක පෙන්නන ගමන් ඇහුවා එයා මම වගේ ද කියල....

"මෙයා මං වගේ පේනවද... "
"පිස්සුද... කවුද කියන්නේ... චමිත් ද...."
"ඔව්.....මම ඉමායා වගේමයි ලු එකම උසලු....ඒක නිසාලු නේ එයා මට කැමති උනෙත්..."
"චමිත් ට ඇත්තටම පිස්සුද... එයාව ඔයාගේ ලගින් වත් තියන්න බෑ.. චමිත් ට ඇස් පෙන්නේ නැද්ද කොහෙද..."

මලිති කියන දේ ඇත්ත... මම පොඩ්ඩක් වත් ඉමායා වගේ නවෙයි....

"මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉන්න බෑ කොහොමත් චමිත් ට... මම නම් කියන්නේ එයාගේ ඔය ලෙඩෙත් බොරු ඉමායා ගෙදර ආව එකත් බොරු..."

අනේ මන්ද මලිති ට චමිත් එක්ක පරණ තරහක් තියනවද කියල...පොඩ්ඩක් වත් විශ්වාස නෑ නේ... 

"ඔයාට මතක නැද්ද ශාක්‍යා ගේ යාලුව කිව්වේ චමිත් එයාලටත් කිව්වා ගමේ ගර්ල් බදින්න යනවා.. අවුරුදු 6ක් යාලුයි කියල... ඕක මුළු ස්ලිට් එකම දන්න කතාවක් නේ අනේ..."
"ඉමායයි එයයි යාලු වෙලා නම් ඉදලා තියනවා... ඉමාය කමෙන්ට් කරලා තියනවා.. චමිත් ගේ ප්‍රොෆයිල් එකේ... මේ බලන්න... "

මම පෙන්නුවා මලිති ට ඉමායගේ කමෙන්ට්.. ඉමායයි චමිතුයි වෙන් උන කාලේ එක එක දුක හිතෙන ඒවා වෝල් එකේ දාල තිබ්බා...හොද බූට් එකක් කාපු සාම්ප්‍රදායික කොල්ලෙක් වගේ... 

"මේ වෙන ප්‍රොෆයිල් එකක් නේ.. එදා ඉමායා කියල ඔයා මට පෙන්නුවේ මේකද... එකේ ප්‍රොෆයිල් පික්චර් එකක් තිබ්බනේ"
"නෑ නෑ මේ වෙන එකක්... එයාට ප්‍රොෆයිල් 2ක් තියනවා ලු..."
"මොකක්... ?? "
"ඔව් දවසක් මම ඇහුවා චමිත්ගෙන් මේ කමෙන්ට් දාන ඉමායගේ ප්‍රොෆයිල් එක ගැන... "
"ඉතිං...?"
"අරක හැදුවේ එයාගේ අයියලු.. ඕක හැදුවේ චමිත්ලු අයියා හදපු එකෙන් චමිත් එක්ක චැට් කරන්න බැරි නිසා... "
"මොකක්... ඒ කියන්නේ අයියා ඒක චෙක් කරනවද.. දැන් එතකොට ඉමායා බබෙක් ද ගෙදරින් එයාගේ ෆේස්බුක් එක බලන්නේ.."
"අනේ මන්ද... මම චමිත් ගෙන් ඕව වැඩිය ඇහුවේ නෑ මට ඕනෙකමක් තිබ්බේ නෑ නේ.."
"කෝ බලන්න අනිත් ප්‍රොෆයිල් එක.."

දැන් කාලේ කවුරු හරි කෙනෙක් ගැන විස්තර හොයන්න ලේසිම ක්‍රමේ ෆේස්බුක් තමයි ඉතින්... මම මලිති ට පෙන්නුවා ප්‍රොෆයිල් දෙකම....

Friday, July 12, 2013

එයා තමයි මාව නැගිට්ටෙව්වේ... (02 කොටස)

"ඔයා අද ඇවිද්ද එකට මට ගොඩක් හැපී....  දැන් බේත් බීලද ඉන්නේ ළමයා ??"
"ඔව් මැට්ටී... "
"අම්මෝ ගොඩක් කාලෙකින් ඔයා මට මැට්ටි කිව්වේ... "
"හ්ම්ම්ම්.... අයේ මම ඒ නම කියන්නේ නෑ... "
" ඒ ඇයි ? :O "
"ඒක මම ඉමායට කිව්ව නම... "

මීට කලින් කවදාවත් චමිත් මේ වගේ කතාවක් කියල නෑ.. ඇයි මේ කියල හිතුනත් මොකුත් උනේ නෑ වගේ කතා කරන්න හිතුවේ ඉමායා ගැන කතා කරන්න තිබ්බ අකමැත්ත නිසා.. නිකන් මොකටද අහක ඉන්න ඉමායෙක්... 

" ඔයා කියන්නේ මමත් ඉමායා වගේ කියලානෙ...  "
" එයා වගේ වෙන්ට කාටවත් බෑ...  එදා එයත් අවා මාව බලන්ට...  "

ඒ මොන මගුලකටද එයා අවේ කියල අහන්න හිතුනට මම ශේප් එකේ කතා කළා...

"කවදද... නවෝද් ආව දවසෙද?"
"ඔව්.. "
"ඉතින්.... "
"ඉතින් මොකද්ද ??"
"ඉතින් ඉමායා මොකද කිව්වේ.... "
"ආ.... ඒවා රහස්... "
"රහස් උනාට මට කියන්නකෝ ඉතින්..."
"එයා තමයි මාව නැගිට්ටෙව්වේ...."

මාරයි ඉමායා නිකන් දෙවි කෙනෙක් වගේ නේ.. ඇවිදින්න බැරි කෙනෙක්ව ගැනු ළමයෙක්ට අවිද්දවන්න පුලුවන්ද එහෙම... පොල්ලෙන් ගැහුවා වගේ මේ මොකක්ද එකපාරටම කිව්වෙ චමිත්....  ඇයි ඉමායට එන්න එපා කිව්වේ නැත්තේ..... ඒ වගේ ගොඩක් දේවල් හිතුනත් කිසිම දෙයක් චමිත් ට කිව්වේ නෑ. කිව්වත් වැඩක් නෑ දැන් එයා ඇවිත් ඉවරයි නේ...


ඊට පස්සේ දවසේ මගේ යාලුවන්ට කිව්ව විස්තරේ.. චමිත් කැමතිම නෑ මම යාලුවන්ට හැමදේම  කියනවට.. එත් මේ වගේ බරපතල දෙයක් නොකිය ඉන්නේ කොහොමද...???

"චමිත් ව බලන්න ඉමායා අවා ලු.. එයා නැගිට්ටෙව්වා ලු චමිත් ව... දැන් ඇවිදින්න පුළුවන් ලු... "

"මොකක්.....??? "
"ඔහොම දේවල් වෙන්නෙ ෆිල්ම් වල... මට නම් හිතෙන්නේ චමිත් ආදරණීය වස්සානය බලන්න ඇති ළගදී.... ඕක නම් අනිවාර්යෙන්ම බොරු... අහු වෙන්න එපා...  " එහෙම කිව්වේ මගේ හොදම යාලුවා මලිති.

"ඒ ගර්ල් ලබන මාසේ බදිනවා නම් ඇයි චමිත්ව බලන්න එන්නේ.. අනික බදින්න ඉන්න කෙනෙක්ට කොච්චර වැඩ තියනවද... " 
"ඔය කොන්දේ අමාරු එහෙම එකපාරටම සනීප වෙන්නෙ නෑ. කල් යනවා.. ඕක නම් කොහොමත් වෙන්න බැරි වැඩක්.. "
"ඔහොම යන්න පුලුවන්ද කොල්ලන්ගෙ ගෙවල් වල.... "

මගේ යාලුවෝ කවුරුත් චමිත්ව බලන්න ඉමායා අවා කියල පිළිගන්න ලෑස්ති නෑ වගේ... එයාල කියන දේවල් වල ඇත්තක් නැත්තේම නෑ තමයි..  මට ඒවාට දෙන්න උත්තර තිබ්බේ නෑ..  එත් චමිත් බොරුවක් කිව්වා වෙන්නත් බෑ...

"ඔයාට ෂුවර් ද ලෙඩේ ඇත්ත කියලා....?? "
එකට නම් පොඩ්ඩක් විතර මටත් මල පැන්නා.. මලිතිට චමිත් ව පොඩ්ඩක් වත් ෂුවර් නෑ වගේ.....

"බොරුවට ලෙඩ වෙලා කියන්න චමිත් ට පිස්සුද.. ඉමායා ආව එක බොරු වෙන්න ඇති... එත් ලෙඩේ බොරු වෙන්න බෑ.. එදා ස්ලිට් ලෙක්චර්ස් තිබ්බ දවසක නේ ලෙක්චර්ස් එන්නෙත් නැතුව ගෙදර ගියේ...."

මලිති ට එහෙම උත්තර දුන්නට ඉමායා ඇවිත් චමිත් ව නැගිට්ටෙව්වා කියන එක නම් මටත් පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි..

මොකක් උනත් චමිත් මට ඇත්තම කිව්වනේ ඉමායා ආවා කියලා... ඕනේ නම් නොකිය ඉන්න තිබ්බනේ මම දන්නේ නෑනේ ආවත්....  එහෙනම් එයා එන්න ඇති එත් නැගිට්ටවන්න නැතුව ඇති...

Thursday, July 11, 2013

ඉමායා... (01 කොටස)

අද මට ඉමායා කෝල් කළා නේ...
ආහ් ඉතිං......
එයාට ආරංචි වෙලා මට සනීප නෑ කියලා....
ආ එහෙමද... ඉතිං කොහොමද ආරංචි වෙලා තියෙන්නේ......
අර මගේ යාලුවා නවෝද් කියල නේ.. මම ඌට කිව්වා කාටවත් කියන්න එපා කියල...
හ්ම්... ඉතින් ඉමායා මොකද කිව්වේ...
මාව බලන්න එනවා කිව්වා..
ආහ්හ්.....  ඉතින්..
මම කිව්වා එන්ට එපා කියලා.... 
හ්ම්ම්ම්.....
පැයක් විතර කතා කරා ඉතිං...
හ්ම්ම්ම්.....

චමිත් එකපාරටම ඉමායා ගැන කියද්දී මොනව කියන්නද කියල මට හිතා ගන්න බැරි උනා. ඉමායා මයුරි ආරියතිලක කියන්නේ චමිත් ගේ කලින් ගර්ල් ෆ්රෙන්ඩ්. චමිත් මට ඉමායා ගැන වැඩි විස්තරයක් කියලා නෑ. පරණ දේවල් වැඩක් නැති නිසා මම අහන්න ගියෙත් නැ. හැබැයි ඒ දෙන්නා අවුරුදු 6 ක් යාලු වෙලා හිටියා කියල නම් දනනවා. ඒ කියන්නේ ඕ ලෙවල් කරන කාලේදී තමයි යාලු වෙලා තියෙන්නේ.. ඉමයා ගේ ගෙදරින් අකමැති උන නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වෙලා.. හරිම පවු...

ඉමයා දැන් එන්ගේජ් වෙලා නේ ඉන්නේ... මේ අවුරුද්දේ බදිනවා කියලාත් චමිත් කිව්වානේ. ඉතින් මොකටද මම බය වෙන්නේ.. නිකන් කෝල් කරලා බලන්න ඇති අසනීප නිසා... හ්ම්ම්ම්... මොනවා උනත් අවුරුදු 6ක් නේ... මම මටම කියා ගත්තා.. 
නවෝද් තමයි මගේ හැමදේම දන්න හොදම යාලුවා කියල චමිත් මට කීප වතාවක්ම  කියල තියනවා.. එයයි ඉමායයි හොද යාළුවො වෙන්න ඇති එහෙනම්.. 

චමිත් ගේ ලෙඩේ ගොඩක් බරපතලයි වගේ කියල තමයි කිව්ව විස්තර වල හැටියට මට හිතුනේ. කොන්දේ අමාරුවක් උනාට ඇවිදින්නත් අමාරුයි ලු. බේත් ගන්න ඉස්පිරිතාලෙට ගියෙත් රෝද පුටුවේලු. කකුල් හිරි වැටිලා ඇවිදින්න බෑ ලු.. මොකක්ද ඔය ලෙඩේ කියල මම දෙතුන් පාරක් ඇහුව... එත් කිව්වෙ නෑ.. හැමදේම එපා වෙලා ඉන්නේ කියලා වෙනදා තරම් මට කෝල් / මැසේජ්  කලෙත් නැ.. හැබැයි කතා නොකර හිටියෙත් නෑ. එත් එයාගේ ලෙඩේ ගැන යාලුවෝ කාටවත් කියන්නත් එපා කිව්වා.

දැනට දවස් දෙක තුනකට කලින් මමත් චමිත්ගෙන් ඇහුව එන්නද බලන්න කියල.. එපා එපා කියල තමයි මට කිව්වෙත්..

ඕක තමයි කියන්නේ දුර පළාත් වල කොල්ලෝ එක්ක යාලු වෙන්න එපා කියලා.. එහෙම කිව්වේ මගේ හොදම යාලුවා මලිති.. කොලඔ නම් අපිට මොකක් හරි කරන්න තිබ්බා...
ඉතින් එක දවසෙන් නුවර ගිහින් එන්න බැරිද අපිට.. අචිනි අක්කලාගේ ගෙදර යනවා කියල යමු...  හොද වෙලාවට එයා නුවර ඉන්නේ.... නැත්නම් මොනවා කියන්නද අම්මලට....
එහෙනම් කෝච්චියේ ගිහින් එමු...
හ්ම්ම් බලමුකෝ... මේ ප්‍රොජෙක්ට් වැඩත් තියනවා නේ...

සෙමෙස්ටේර් එක ඉවර වෙන්නත් කලින් අසනීප වෙලා ගෙදර ගිය චමිත් නිවාඩුව ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් තාම අසනීපෙන්... මාස ගානක් යයි ඕක සනීප වෙන්න... 
එදා නිකමට මලිතියි මමයි නුවර යන්න හිතුවේ චමිත් බලලා එන්න....